Home/Brasia
Brasia 2016-12-29T08:31:10+00:00

බ්‍රේසියා නගරය   

පළවෙනි බුදුගුණය ‘අරහං.’ බලන්න, උන්වහන්සේ මීට අවුරුදු 2600 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින් ‘අරහං’ කියන ගුණය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ‘අරහං’ කියන වචනයේ තේරුම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි.

රහතන් වහන්සේ නමක් කියන්නේ, උන්වහන්සේ හිතේ හටගත් කෙලෙස් ප‍්‍රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ.

යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා. අපේ ක‍්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ කයින් අපිරිසිදු ක‍්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් මේ සියලු අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට ‘රහතන් වහන්සේ’ කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව, තමන් තනිවම සොයාගත් වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා.

අරහත්වයට පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආඝ‍්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල් වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත් එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැස්වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි, කෙලෙස් හදන අරමුණු හැටියටයි.

රහතන් වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා.

රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කනෙන් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ‍්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස, කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි.

විමසීම් 

සීල භාවනා වැඩසටහන් හි සොදුරු දසුන්   

Visit Us On FacebookVisit Us On Google PlusVisit Us On Youtube