පින්බර මැදින් පුන් පොහෝ දින

View Calendar
2018/03/01 All day

 

බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.


සොභා සෞන්දර්යයේ චමත්කාරජනක සමය වන සොඳුරු වසන්ත සමය උදා වෙමින් මේ අහස් ගැබ මෝදු වන්නේ මැදින් මස පූර්ණ සඳ මඬලයි. මැදින් පුර පසළොස්වක් පුන් පොහෝ දිනය හේමන්ත සෘතුවේ අවසාන පොහොයයි. මැදින් පොහොයෙන් පසු ගිම්හාන සෘතුව ආරම්භ වේ. හේමන්තයේ අවසානයත් ගිම්හානයේ ආරම්භයත් අතර කාලයේ වසන්ත සමය උදා වේ. ගස් වල නැවුම් දළුපත් හට ගෙන ප්‍රාණවත් වූත් ආනන්දනීය වූත් සොභා සෞන්දර්යයක් මේ සමයේ උදා වේ. අපගේ ලක් දිවට එය එතරම් විශේෂයක් නොවූවත් අපට ආසන්නම දඹදිව නම් සුවිශේෂී පාරිසරකි වෙනස්කම් මේ සමයේ සිදු වේ.

මින් වසර 2600 කටත් පෙර ඈත අතීතයේ දඹදිව ශාක්‍ය රජ දහනේ අභිමානවත් රජු වූයේ සුද්ධෝදන මහ නිරිඳාණන් ය. සුදොවුන් රජුගේ අතිජාත පුත්‍ර වූ සිද්ධාර්ථ කුමාරයාණන් විසිනව හැවිරිදි වියේ දී රජ මැදුරු අත්හැර දමා මහා අභිනිෂ්ක්‍රමණය කළෝය. ඒ මහා බෝසත් සිද්ධාර්ථ කුමාරයාණෝ සය වසරක් දුෂ්කර ලෙස වීර්යය කොට තුන් ලොව ජයගත් සම්මා සම්බුද්ධත්වය ලැබූ බැව් සුද්ධෝදන මහ නිරිඳාණන් හට දැන ගන්නට ලැබුණි.

ඒ සිද්ධාර්ථ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණෝ ශ්‍රාවක පිරිස් පිරිවරා ගෙන රජගහ නුවර බිම්බිසාර නිරිඳුන් පූජා කළ වේළුවන ආරාමයෙහි වැඩ වෙසෙති’යි සැල වෙත්ම සුද්ධෝදන නිරිඳුන් හට තම පුත්‍ර රත්නය දැක ගැනීමේ ආසාව බලවත් විය. සුද්ධෝදන රජු ඇමතියෙක් ප්‍රධාන දහසක් පුරුෂයින් ගෙන්වා රජුගේ පණිවුඩය රැගෙන බුදු රජුන් වෙත පිටත් කොට හැරියෝය. එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභියස ධර්මය ඇසූ ඒ දහසක් පුරුෂයෝ අරහත්වයට පත් ව බුදු සසුනේ පැවිදි වූහ. මේ අයුරින් අවස්ථා නවයක දී දහස බැගින් එවූ නවදහසක් පුරුෂයින් බුදු සසුනේ පැවිදි වී අරහත්වය සාක්ෂාත් කළෝය. සුද්ධෝදන රජු අපේක්ෂා කළ පරිදි බුදුරජුන්ගේ වැඩමවීම සිදු නොවුණි.

අවසානයේ මහබෝසත් සිද්ධාර්ථ බිළිඳාණන් උපන් දිනයේ ම ජන්ම ලාභය ලැබූ රජුගේ හිතෛෂී ඇමතියෙකු වූ කාළුදායී අමාත්‍ය වරයා බුදුරජාණන් වහන්සේ වෙත යැවීමට සුද්ධෝදන රජු තීරණය කළේය. කාළුදායි අමාත්‍යවරයා කැඳවූ රජු මෙසේ පැවසීය.

‘දරුව, කාළුදායි. මාගේ ප්‍රිය පුත්‍ර වූ සිද්ධාර්ථයන් දැක බලා ගැනීමට මා තුළ ඇත්තේ බලවත් කැමැත්තකි. දැන් ශ්‍රාවක පිරිස් පිරිවරා සිටින මා පුත් සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත අවස්ථා නවයකදී ම පණිවුඩ යැවූ මුත් කිසිදු ආරංචියක් නැත. මාගේ වියෝවට පෙර උන්වහන්සේව ශාක්‍ය දේශයට වැඩම කරවා ගෙන ඒමට ඔබව යැවීමට මා තීරණය කළෙමි. එය ඉටු කර දීමට ඔබට හැකි ද?’
පැතිරුණු කිත් යසස් ඇති සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අසා ඒ වන විටත් සිත පහදවා ගෙන සිටි කාළුදායි අමාත්‍යවරයා සුද්ධෝදන රජු හට මෙසේ පැවසීය.

‘දේවයිනි, ඒ ශාක්‍යයන්ගේ මහා මුනි වූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජුන් අභියස මා හටත් පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් ඔබතුමාගේ අපේක්ෂාව ඉටු කිරීමටද මට හැකිය.’

මෙසේ රජුගෙන් පැවිද්දට අවසර ලබා ගත් කාළුදායි අමාත්‍යවරයා හා දහසක් පිරිවර පුරුෂයෝ රජගහ නුවර වේළුවනාරාමය වෙත පැමිණියෝ ය. ඒ සම්බුදු මුව මඬලින් මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළෝය. සම්බුදු සසුනේ දුර්ලභ වූ පැවිදි බව ලැබුවෝ ය. ඒ දහසක් දෙනා වහන්සේලාම උතුම් අරහත්වය සාක්ෂාත් කළෝය. ඒ වන විට ශාක්‍ය දේශයෙන් පැමිණ පැවිදි බව ලැබූ දස දහසක් පමණ රහතන් වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියෝය. අංග මගධ දෙරටින් පැමිණ පැවිදි බව ලබා අරහත්වයට පත් දසදහසක් පමණ රහතුන් ද වැඩ සිටියෝ ය.

ඒ වන විට ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වට පත්ව මාස දහයක් ගත වී තිබුණි. සොඳුරු වසන්ත සමය උදා වී තිබුණි. කාළුදායි මහරහතන් වහන්සේ මිහිරි ගාථාවන් වලින් බුදුරජාණන් වහන්සේට ශාක්‍ය දේශයට වැඩම කරවන ලෙස ආයාචනා කළේය.

පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබලනවා ගිනි සිළුව වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා!

එ් ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තටම සුවඳ හමනවා. දැන් එ් ගස්, කොළ අත්හැරියා. ඔය සූදානමින් ඉන්නෙ ගෙඩි පිළිගන්ට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්න කල් පැමිණිලා!

පින්වත් මුනිඳුනි, දැන් ගොඩාක් සීතලත් නෑ. ගොඩාක් රස්නෙත් නෑ. දීර්ඝ ගමනකට හොඳ සනීප දේශගුණයක් තියෙන්නෙ. ඔබවහන්සේ රෝහිණී ගංගාවෙන් එතෙර වෙලා වඩින කොට බටහිර පැත්තේ ඉන්න ශාක්‍ය කෝලිය වංශිකයන්ට ඔබවහන්සේව දැක බලාගන්ට ලැබේවා!

(කාළුදායී ථේර ගාථා ඇසුරෙනි)

මහා වීර අපගේ ගෞතම බුදු රජාණෝ මේ අයුරින් කාළුදායී රහතන් වහන්සේ කළ ඇරයුම පිළිගත් සේක. අද මෙන්ම උතුම් වූ මැදින් පුන් පොහෝ දිනයක් වූ එදා විසිදහසක් රහතුන් පිරිවරාගත් ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම නම් වූ අපගේ ශාස්තෘන් වහන්සේ ශාක්‍ය දේශය ලබා ගමන් ඇරඹූ සේක. රජගහ නුවර සිට කිඹුල්වත පුර දක්වා යොදුන් හැටක දීර්ඝ මාර්ගය දිනකට යොදුන බැගින් වැඩම කරමින් දින හැටකදී කිඹුල්වත් පුරට වැඩම කොට වදාළ සේක.

තරු පිරිවැරූ පුර සඳක් මෙන් කපිලවස්තු පුරට සමාප්‍රාප්ත වූ ඒ දිනයේ බුද්ධ විෂයට පමණක් ගෝචර වූ යමක මහා ප්‍රාතිහාර්යය පෙළහර කොට ශාක්‍යයන්ගේ ජීවිතත් ඒ අමා ධර්මයෙන් සනසා ලූ සේක. ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ කපිලවස්තු වැඩමවීම හේතුකොට ගෙන සිදු වූ ශාසනික සිදුවීම් බොහෝ ය. ඒ සියල්ලට මූලික වූ ‘ශාක්‍ය දේශය වූ කපිල වස්තුව බලා ගමන් ඇරඹීම’ මැදින් පොහෝ දිනයක සිදු විය. ඉතින් මෙබඳු උතුම් දිනයක අපිත් සම්බුදුගුණ සිහි කරමින් මැනැවින් සසුන් පිළිවෙත් හි යෙදෙමු.

ශාක්‍යයන්ගේ මහා මුනිඳාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !